අස්ථි පිළිකා

ඔබ අස්ථි වල වේදනාවකින් පෙලෙයි නම්, ඔබට තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය ද යන්න තීරණය කිරීමට පෙර, ඔබේ වෛද්‍යතුමා විසින් ඔබගේ රෝග ලක්ෂණ පිලිබඳව ප්‍රශ්න නගනු ඇති අතර බලපෑමට ලක් වූ ප්‍රදේශය පරීක්ෂා කරනු ඇත. ඔවුන් යම්කිසි ඉදිමුමක් හෝ ගෙඩියක් වන් දෙයක් ඇත්දැයි බලනු ඇති අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශය චලනය කිරීමේ අපහසුතා තිබේදැයි ඔබෙන් ප්‍රශ්න නගනු ඇත. එසේම ඔවුන් ඔබට ඇති වේදනාවේ වර්ගය පිලිබඳව ප්‍රශ්න නගනු ඇත - එනම් එය දිගටම පවතීද හෝ එන යන වේදනාවක් ද සහ එය වඩාත් නරක අතට හරවන වෙනත් දේවල් ඇත් ද යන්න පිලිබඳව. පරීක්ෂා කිරීමෙන් පසු එක්ස්-කිරණ (X- ray) පරීක්ෂණයකට යොමු කිරීම මගින් බලපෑමට ලක්වූ ප්‍රදේශයේ අස්ථි වල යම්කිසි ගැටලුවක් ඇත්දැයි සොයා බැලේ. එක්ස්-කිරණ පරීක්ෂණය මගින් අසාමාන්‍ය ප්‍රදේශයන් පෙන්නුම් කලහොත්, ඔබව විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකුට (අස්ථි පිලිබඳව විශේෂඥයෙකු) හෝ අස්ථි පිළිකා විශේෂඥයෙකුට හෝ තවදුරටත් පරීක්ෂාවන් සදහා යොමු කෙරෙනු ඇත. අස්ථි පිළිකාව නිර්ණය සහ තක්සේරුවට උදව් විය හැකි සමහර පරීක්ෂණයන් පහත විස්තර කර ඇත.

X-කිරණ

x-කිරණ යනු ශරීරය ඇතුළත පිංතූර ලබා ගැනීම සදහා විකිරණ යොදා ගනු ලබන ක්‍රියාවලියකි. මෙය විශේෂයෙන්ම අස්ථි දෙස බැලිය හැකි ඵලදායී ක්‍රමයකි. X-කිරණ වලට පිළිකාව අස්ථි මත ඇති කරන ලද හානිය හෝ පිළිකාව නිසා වර්ධනය වන නව අස්ථි හදුනා ගැනීම බොහෝවිට සිදුකල හැකියි. එලෙසම එයට ඔබගේ රෝග ලක්ෂණ වෙනත් දෙයක් මගින්, එනම් බිදුණු අස්ථියක්(භග්න) වැනි දෙයක් මගින් ඇති කරන්නේද යන්න පිලිබඳව ද තීරණය කළ හැකිය. X-කිරණ පරීක්ෂණක් මගින් ඔබට අස්ථි පිළිකාවක් ඇති බව හැගවෙන්නේ නම්, ඔබව තත්ත්වය හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම ප්‍රගුණ කරන ලද විශේෂඥ මධ්‍යස්ථානයක් වෙත යොමු කල යුතුයි. අස්ථි පිළිකා දුර්ලභ බැවින්, විශේෂඥ මධ්‍යස්ථාන ද කුඩා ප්‍රමාණයක් පමණක් ඇති බැවින්, ඔබට උපදෙස් හා ප්‍රතිකාර සදහා ඔබේ ප්‍රාදේශීය ප්‍රදේශයෙන් ඉවතට ගමන් කිරීමට සිදුවිය හැක.

බයොප්සි (Biopsy)

අස්ථි පිළිකාවක් හදුනා ගැනීමට වඩාත් නිශ්චිත වූ ක්‍රමය නම් බලපෑමට ලක් වූ අස්ථියෙන් සාම්පලයක් ගෙන එය පරීක්ෂාවන් සදහා රසායනාගාරයට යැවීමයි. මෙය බයොප්සි (Biopsy) ලෙස හැදින්වේ. බයොප්සියකට ඔබට ඇත්තේ කුමන වර්ගයේ අස්ථි පිළිකාවක් ද සහ එය ඇත්තේ කුමන ශ්‍රේණියේ ද යන්න නිශ්චිතවම තීරණය කල හැකියි. බයොප්සිය (Biopsy) ආකාර දෙකකට සිදුකල හැකියි:

  • කෝර් නීඩ්ල් බයොප්සි (Core needle biopsy) මෙය නිර්වින්දක යටතේ සිදුකරයි (මෙය අස්ථිය පිහිටා ඇති ස්ථානය මත එය ස්ථානික නිර්වින්දක හෝ සාමාන්‍ය නිර්වින්දක විය හැක). පටකයෙන් සාම්පලයක් ඉවත් කිරීමට සිහින් ඉදිකටුවක් අස්ථිය තුලට ඇතුලත් කිරීම සිදුකරයි.
  • විවෘත බයොප්සි සාමාන්‍ය නිර්වින්දක යටතේ සිදුකෙරේ. ශල්‍ය වෛද්‍යවරයා විසින් බලපෑමට ලක් වූ අස්ථිය මත කැපුමක් සිදුකර පටක සාම්පලයක් ඉවත් කිරීම සිදුකරයි.

කෝර් නීඩ්ල් බයොප්සියේ ප්‍රථිඵල අවිනිශ්චිත නම් ඔබට විවෘත බයොප්සියක් සිදුකිරීම අවශ්‍ය විය හැක.

වැඩිදුර පරීක්ෂණ

බයොප්සියෙන් ලද ප්‍රථිඵල වලින් අස්ථි පිළිකාව තහවුරු වුවහොත්, පිළිකාව කෙතරම් දුරට පැතිරී ඇත් ද යන්න තක්සේරු කිරීම සදහා ඔබට වැඩිදුර පරීක්ෂාවන් වලට මුහුණ දීමට සිදුවිය හැකියි. එම පරීක්ෂණයන් පහත විස්තර කර ඇත. MRI ස්කෑන් (Magnetic resonance imaging(MRI) ස්කෑන්- මෙහිදී අස්ථි වල සහ මෘදු පටක වල විස්තරාත්මක රූපරාමු ලබා ගැනීම සදහා ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් සහ රේඩියෝ තරංග උපයෝගී කර ගැනේ. MRI ස්කෑන් යනු අස්ථි මත හෝ ඒ අවට ඇති ඕනෑම පිළිකාවක විශාලත්වය සහ එහි පැතිරීම තක්සේරු කර හැකි ඵලදායී ක්‍රමයකි. CT ස්කෑන් - කොම්පියුටරයිස් ටොමෝග්‍රෆි ස්කෑන් (Compurerised tomography (CT) මෙමගින් x-කිරණ මාලාවක් ලබා ගැනීම සහ ඒවා පරිගණකයක් මගින් නැවත එකතු කරමින් ශරීරයේ විස්තරාත්මක ත්‍රිමාණ පිංතූරයක් ලබා ගැනීම සිදුකරයි. CT ස්කෑන් බොහෝවිට පිළිකාව ඔබේ පෙනහැලි වලට පැතිරී ඇත් ද යන්න පරීක්ෂා කිරීමට යොදාගනී. මෙම අරමුණින් ම පපුවේ x-කිරණ පරීක්ෂාව ද සිදුකරයි. අස්ථි ස්කෑන් X-කිරණ පරීක්ෂණයකට වඩා අස්ථි ස්කෑන් පරීක්ෂණයක් මගින් ඔබගේ අස්ථි ඇතුලත වඩාත් විස්තරාත්මක තොරතුරු ලබාදිය හැකියි. අස්ථි ස්කෑනය අතරතුරදී, ඔබගේ ශිරාවකට කුඩා ප්‍රමාණයක විකිරණශීලි ද්‍රව්‍යයක් ඇතුළු කරනු ලබයි. අස්ථියේ සාමාන්‍ය තැන් වලට වඩා වේගයෙන් අසාමාන්‍ය තැන් විසින් මෙම ද්‍රව්‍ය අවශෝෂණය කරන අතර ඒවා ස්කෑනයේ "උණුසුම් තැන්" (Hot spots) ලෙස පෙන්නුම් කරනු ලබයි. ඇට මිදුළු බයොප්සි (Bone marrow biopsy) ඔබට යූවින් සාර්කෝමා (Ewing sarcoma) නම් අස්ථි පිළිකා වර්ගය ඇත්නම්, පිළිකාව ඔබගේ ඇට මිදුළු වලට (ඔබගේ අස්ථි ඇතුලත ඇති පටක) පැතිරී ඇත්දැයි සොයා ගැනීමට ඇට මිදුළු බයොප්සි නම් පරීක්ෂණයක් කිරීමට සිදුවනු ඇත. මෙම පරීක්ෂණය අතරතුර, ඔබගේ ඇට මිදුළු වලින් සාම්පලයක් ලබා ගැනීමට ඉදිකටුවක් ඔබේ අස්ථිය තුලට ඇතුලත් කරනු ලැබේ. මෙය ස්ථානික හෝ සාමාන්‍ය නිර්වින්දක යටතේ සිදුකල හැකියි.

අදියරගත කිරීම හා ශ්‍රේණිගත කිරීම

මෙම පරීක්ෂාවන් අවසානයේ ඔබේ අස්ථි පිළිකාව ඇත්තේ කුමන අදියරේ ද සහ කුමන ශ්‍රේණියේ ද යන්න ඔබට කිව හැකිවනු ඇත. අදියර ගත කිරීම යනු පිළිකාව කෙතරම් දුරට පැතිරී ඇත්දැයි යන්න සහ ශ්‍රේණිගත කිරීම යනු ඉදිරියේදී එයට ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩයි. එක්සත් රාජධානියේ බහුලව භාවිතා කරන අදියර ගත කිරීමෙ පද්ධතියේ ප්‍රධාන අදියර 3ක් ඇත:

  • අදියර 1 - පිළිකාව අඩු ශ්‍රේණියක වන අතර එය අස්ථියෙන් ඔබ්බට පැතිරී නොමැත
  • අදියර 2 - පිළිකාව තවමත් අස්ථියෙන් ඔබ්බට පැතිරී නැති මුත්, එය ඉහල ශ්‍රේණියක වේ
  • අදියර 3 - පෙනහැලි වැනි ශරීරයේ අනෙකුත් කොටස් වලට ද පිළිකාව පැතිරී ඇත

බොහෝ අවස්ථාවන්හිදී අදියර 1 හි අස්ථි පිළිකා සහ සමහර අදියර 2 හි අස්ථි පිළිකාවන් සුව වීමට හොද අවස්ථාවක් ඇත. අවාසනාවකට මෙන්, අදියර 3හි අස්ථි පිළිකා ප්‍රතිකාර මගින් රෝග ලක්ෂණ සමනය සහ පිළිකාවෙහි පැතිරීම මන්දගාමී කල හැකි වුවද, සුව කිරීම වඩාත් අපහසු වේ.

රෝග විනිශ්චයට සාර්ථකව මුහුණ දීම

ඔබට අස්ථි පිළිකාවක් ඇතැයි පැවසීම වේදනාකාරී හා බියජනක අත්දැකීමක් වන්නට පිලිවන. මෙවැනි පුවතක් ලැබීම ඕනෑම වයසක අයෙකුට පීඩාකාරී වුවද, විශේෂයෙන්ම ඔබ තවමත් යොවුන් වියේ පසුවනවා නම්, හෝ ඔබගේ දරුවාට අස්ථි පිළිකාවක් ඇතැයි දැනගත් දෙමාපියෙක් නම් එය වඩාත් දුෂ්කර වනු ඇත. මේ ආකාරයේ හැගීම් සැලකියයුතු මානසික ආතතියක් සහ කාංසාවක් ඇති කල හැකි අතර සමහර අවස්ථාවන්හිදී එය විෂාදිය ට ද හේතු විය හැක. ඔබ විෂාදියෙන් පෙලෙනවා යැයි ඔබට සිතෙනවා නම්, ඒ පිලිබඳව කතා කිරීමට, සහයෝගය ලබා ගැනීමට සහ යෝග්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඔබේ වෛද්‍යතුමා හොද පුද්ගලයෙක් විය හැක.